සිහිය එසේත් නැත්නම් සතිය (Mindfullness) බුදු දහමේ විමුක්‌ති මාර්ගය සොයා යැමට ඇති ප්‍රධානතම මෙවලමයි. දුක නැති කිරීමේ එක ම මඟ ලෙස බුදුරජාණන් වහන්සේ සතර සතිපට්‌ඨානයෙන් පෙන්වා දෙන්නේ සිහිය වර්ධනය කිරීමේ විවිධ උපක්‍රමයි. පෙර බුදුන් දවස දඹදිව කුරු රට සිටි දැසි දැස්‌සන් පවා වැඩ කරන අතරතුර පවා සතිපට්‌ඨාන භාවනා කරමින් සිටි බව පැවසෙනවා. කෙසේ නමුත් කාලයත් සමඟ සාමාන්‍ය බෞද්ධයන් තුළ සිහියට ඇති වටිනාකම කෙමෙන් ගිලිහී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. ආසියාතිකයන් හිස් මුදුනේ තබාගෙන කටයුතු කරන පුද පූජා විධි, ඇදහිලි, වන්දනා ආදිය තුළ සිහියට තැනක් නොමැති තරම්. ඕස්‌ටේ්‍රලියාවේ වාසය කරන බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති ප්‍රකට හිමි නමක් වන අජාන් බ්‍රහ්මවංසෝ ස්‌වාමීන් වහන්සේ මේ ගැන ඉඟි කරමින් පවසන්නේ, ආසියාතිකයන්ගේ බුදුහාමුදුරුවන් සුවඳ දුමින් වැසී ගොස් ඇති බවයි.
බුදු දහමේ මුල් උරුමය සහිත ආසියාතිකයන්ට එතරම් වැදගත්කමක් නැති වුවත් සිහියේ වටිනාකම බටහිරයන්ට නම් අවබෝධ වෙමින් පවතින බවයි දැන් දැන් පෙනෙන්නට තිබෙන්නේ. නිවන අරමුණු නො කළත් එදිනෙදා ජීවිතයේ ඇති දුක, කළකිරීම්වලින් මිදෙන්නට සිහිය අපූරු උපක්‍රමයක් බව ඔවුන් තේරුම් අරගෙන තිබෙනවා. ඒ ගැන වැඩි වැඩියෙන් කතා කරන්නටත් බහුල ව භාවිත කරන්නටත් ඔවුන් පටන් අරන් ඇත්තේ ඒ නිසයි.
සිහිය වර්ධනය කරනු ලබන භාවනා ක්‍රම මේ වන විට ලෝකයේ බහුල ව භාවිත කරනු ලබනවා. මේවා බොහොමයක් බුදුදහමේ විවිධ සම්ප්‍රදායන් තුළින් පැනනැඟුණු ඒවායි. හින්දු ආගම මුල් කරගත් යෝග ක්‍රම, ප්‍රාණයාම ආදියත් මීට ඇතුළත්. මේ අතරින් ජනප්‍රි යම භාවනාව වන්නේ ආනාපානසතියයි. ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ, ඉතා ම සරල, පොදු, ඕනෑ ම කෙනකුට කළ හැකි භාවනාවක් ලෙස එය පිළිගැනීමට ලක් ව තිබෙනවා. එයට අමතර ව වාඩි වී සිටින අතරතුර, ඉරියව්වට, දැනෙන වේදනාවට අවධානය යොමු කිරීම, ඇහෙන ශබ්දයට අවධානය යොමු කිරීම වැනි විවිධ උපක්‍රම මෙහි ලා භාවිත වනවා. ආගමික විශ්වාසයක එල්බ ගැනීමකින් තොර ව භාවනා කිරීමට ඕනෑ ම කෙනකුට ඉඩ තිබීම මේ භාවනා ක්‍රම බහුල ව ජනප්‍රිය වීමට එක් හේතුවක්.
'සති' වෙළෙඳපොළ
සිහිය පැවැත්වීමේ භාවනා ක්‍රම සඳහා නිර්මාණය වී ඇති ස්‌මාර්ට් ජංගම දුරකථන ඇප් ගණනින් ම එයට ඇති ඉල්ලුම කෙතරම් ද යන්න වටහාගැනීමට හැකියි. 10%mindfullness, Insight Timer වැනි ඇප් දුසිම් ගණනක් එහි දැකිය හැකියි. මේවා අතරින් ජනප්‍රිය ම ඇප් එක වන Headspace හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 30කට අධිකයි. ලොව පුරා රටවල් 150ක විසිරී සිටින භාවිත කරන්නන් මිලියන 30කට වැඩි ප්‍රමාණයක් එයට සිටිනවා. එමෙන් ම සිහිය පවත්වන ආකාරය ගැන ලියෑවී ඇති පොත් හා සඟරා ප්‍රමාණය අතිශය විශාලයි. කෙටි කාලයක් තුළ සිහිය වර්ධනය කරගන්නේ කෙසේ ද? එමඟින් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද ආදිය ගැන පාඨකයන්ට ඉන් ඉගෙනගත හැකියි. සිහිය පැවැත්වීම බටහිර කෙතරම් ජනප්‍රිය මාතෘකාවක් වී ඇත් ද යත් වෙළෙඳ භාණ්‌ඩවලට ආකර්ෂණය කරගැනීම සඳහා ඒවාට විශේෂණ පදයක් ලෙස සතිය යන්න (Mindfullness) යෙදීමට සමහර නිෂ්පාදකයන් උත්සාහ කරනවා. සති තේ, සති අළු (බිත්තිවල ආලේප කරන තීන්ත), සති හඳුනාගැනීම් (Mindful dating), සති ආහාර ආදි විවිධ දේවල් මීට අයත්. හොඳ වෙළෙඳපොළක් ඇති ශරීර සෞඛ්‍යය සමඟ ඈඳී ඇති මානසික සෞඛ්‍ය වර්ධනයට උපක්‍රමයක් ලෙස බහුල ව යොදාගැනීමට හැකි වීම මෙලෙස සිහියට වෙළෙඳපොළ වටිනාකමක් හිමි වීමට හේතු වී තිබෙනවා. සිහිය අලෙවියට භාණ්‌ඩ මෙන් ම සේවාවන් ද අයත්. සිහිය වර්ධනය කිරීම පුහුණු කරවන භාවනා පන්ති බටහිර විශාල ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබෙනවා. මිනිත්තු 45ක භාවනා වාරයක් සඳහා ඩොලර් 20ක් පමණ අය කරනු ලබන මෙවැනි පන්තිවලට ඇති ඉල්ලුම ඉතා ඉහළ එකක්.
මැක් මයින්ඩ්ෆුල්නස්
2016 වසරේ දී IBISWorld නම් සමීක්‌ෂණ ආයතනය විසින් කරනු ලැබූ සමීක්‌ෂණයක දී හෙළිදරව් වී තිබුණේ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පමණක් මෙවැනි භාවනා සහ සම්බන්ධ ව්‍යාපාර විසින් භාණ්‌ඩ හා සේවා සපයා වසර පුරා ඇමෙරිකානු ඩොලර් මිලියන 984ක් උපදවා තිබූ බවයි. මේ වන විට එය තවත් විශාල අගයකින් වැඩි වී තිබෙනවා විය යුතුයි. බුදු දහමේ ගැඹුරු හරයන් හා සදාචාරාත්මක වටිනාකම් හළා දමා පහසුවෙන් අලෙවි කළ හැකි වාණිජ භාණ්‌ඩයක් බවට පත් කරන ලද සිහිය මෙලෙස විකිණීමට මැක් මයින්ඩ්ෆුල්නස් (McMindfullness) යන නම පටබැඳී තිබෙනවා. ඒ ගෝලීයකරණයේ අනියම් සලකුණක් ලෙස සැලකෙන මැක්‌ඩොනල්ඩ්ස් ව්‍යාපාරයේ හැසිරීම ඊට සමාන කරමින්.
වැඩ කරවාගැනීමට සිහිය
සිහිය විකිණිය හැකි ජනප්‍රිය වෙළෙඳ භාණ්‌ඩයක් බවට පත් වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සමාගම් ලෝකයෙන් එයට ඇති වී ඇති ඉල්ලුමයි. ලොව ප්‍රධාන සමාගම් බොහොමයක් සිහිය වැඩීමේ භාවනා වැඩසටහන් තම සේවකයන්ට හඳුන්වා දී තිබෙනවා. කාර්යබහුල වටපිටාවක සේවය කරන සේවකයාගේ ආතතිය දුරු කර මානසික සුවතාව හා කාර්යක්‌ෂමතාව වර්ධනය උදෙසා සිදු කෙරෙන මෙවැනි වැඩසටහන් ඉතා සාධනීය ඒවා බවයි පෙනෙන්නට තිබෙන්නේ.
කෙසේ නමුත් විශාල මුදලක් වැය කරමින් මෙවැනි වැඩසටහන් හඳුන්වා දීමට සමාගම් විධායකයන් මෙතරම් උනන්දු වීම පිටුපස පවතින අභිලාශයන් එතරම් පිරිසිදු ඒවා ද යන්න ප්‍රශ්න සහගතයි. රැකියා ස්‌ථානවල ඇති කාර්යබහුල ආතතිකාරී පරිසරය වෙනස් කිරීමට උත්සාහ නො කර, එම පරිසරයට සාර්ථක ව මුහුණ දිය හැකි වඩා සන්සුන්, කාර්යක්‌ෂම සේවකයන් පිරිසක් බිහි කර අඩු පහසුකම් යටතේ ඔවුන් ගෙන් වැඩි වැඩ කොටසක් කරවා ගැනීමට මේ වැඩසටහන් හරහා උත්සාහ කරන බවට සමහරුන් චෝදනා කරනවා. ඉතා ම ආකර්ෂණීය දවටනයක ඔතා ඇති නමුදු මෙය සේවකයන් තුළ ඇති නොසන්සුන් බව යට ගසා ආයතනයේ ඉලක්‌ක ඔවුන් හරහා සපුරා කරගැනීමට කරන උප්පරවැට්‌ටියක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් බටහිරයන්ගේ සිහියේ භාවිතය සමාගම්වලට පමණක් සීමා වන්නේ නැහැ. ප්‍රකට ක්‍රීඩා කණ්‌ඩායම් ගණනාවක් සිහිය වැඩීම තම පුහුණුවීම්වල කොටසක් ලෙස යොදාගනු ලබනවා. එමෙන් ම ඇමෙරිකාවේ මෙරීන් හමුදා කණ්‌ඩායම් ද තම පුහුණුවීම් කටයුතුවලට සිහිය ඇතුළත් කරගෙන ඇති බවට වාර්තා පළ වී තිබුණා.
ආතතිය නැති කිරීමේ මඟ
ආතතිය බටහිරයන් මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක්. සංකීර්ණ තරගකාරී සමාජ වටපිටාවක පුම්බන ලද ආර්ථික සමාජයීය ඉලක්‌ක හඹා යැමෙන් හති වැටෙන මිනිසුන් තුළ ඇති වන ආතතිය ඉතා බහුල වශයෙන් දකින්නට ලැබෙනවා. මේ ගැටලුව දුරැලීමට ඔවුන් සතු ව ඇති බටහිර මනෝවිද්‍යාත්මක උපක්‍රම අසමත් වූ තැන එයට විසඳුමක් ලෙස ඔවුන් භාවිත කර ඇත්තේ පෙරදිගින් සිහිය ණයට ගත් සිහියයි. එයින් ලැබුණු සාර්ථකත්වය එය ලෝකය පුරා අතිශය ජනප්‍රිය කරවීමට හේතු වුණා. බටහිර රටවල සමහර භාවනා උගන්වන ආයතනවල බුදුන් වදාළ චතුරාර්ය සත්‍යය ලෙස පෙන්වා දෙන්නේ ආතතිය, ආතතිය ඇති වීමට හේතුව, ආතතිය නැති කිරීම හා ආතතිය නැති කිරීමේ මඟ ලෙසයි. මෙවැනි තැන්වල බුදුදහමේ මූලික හරයන් විකෘතියට ලක් වුණත් එමඟින් යම් හෝ සහනයක් ඔවුන් ලැබීම ගැන සතුටු විය හැකියි.
සිහිය මානසික සුවතා උපක්‍රමයක් ලෙස බටහිර රටවල භාවිතයට ගැනීම බහුල ව ආරම්භ වන්නේ 1970 ගණන්වලයි. ඒ සෙන් දහම හදාරන, මැසචුසෙට්‌ස් සරසවියේ අණුක ජීව විද්‍යාඥයකු වූ Jon Kabat Zinn නිදන්ගත රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබන වැඩිහිටියන්ට එමඟින් ඇති වන වේදනාව හා ආතතිය අවම කරගැනීම සඳහා භාවනා වැඩසටහනක් ආරම්භ කිරීම සමඟයි. Mindfulness based stress reduction (MBRS) ලෙස නම් කරනු ලැබූ මේ සති අටක වැඩසටහන අතිශය ජනප්‍රිය වූ අතර අද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ගණනාවක රෝහල්වල මේ වැඩසටහනට සමාන වැඩසටහන් ක්‍රියාත්මක වනවා. මෙමඟින් රෝගීන්ගේ ආතතිය හා වේදනාව සමනය කිරීමට විශාල සහයක් හිමි වන බව මෑත කාලීන ව කරනු ලැබූ අධ්‍යයන කිහිපයක දී තහවුරු කර තිබුණා.
සිහියේ විද්‍යාව
ස්‌නායු විද්‍යාඥයන්ගේ සිට මනෝවිද්‍යාඥයන් දක්‌වා විවිධ ෙක්‌ෂaත්‍රවල පර්යේෂකයන් සිහිය වැඩීමේ මේ භාවනා ක්‍රියාවලිය ගැන දක්‌වන්නේ උනන්දුවක්. මේ ක්‍රියාවලිය ආතතිය අඩු කරගැනීම සඳහා, සැහැල්ලු බව, මතකය වැඩි කරගැනීම සඳහා උපකාරී වන බවට බොහෝ භාවිත කරන්නන් සාක්‌ෂි සැපයුවත් විද්‍යාත්මක පර්යේෂණයකින් තොර ව ඒවා පිළිගන්නට බටහිර විද්‍යාඥයන් දක්‌වන්නේ මැලිකමක්. මේ නිසා ම මානසික දියුණුව මැන බැලීමේ දුෂ්කරතාවන් තිබිය දීම සිහිය වැඩීමේ භාවනා ක්‍රමවලින් ඇති වන ප්‍රතිඵල පිළිබඳ ව විවිධ උපක්‍රම භාවිත කරමින් පර්යේෂකයන් පර්යේෂණ පවත්වා තිබෙනවා. ඇමෙරිකාවේ කැලිෆොaනියා සරසවියේ Michael D. Mrazek ප්‍රමුඛ කණ්‌ඩායමක් විසින් සිදු කරන ලද මෙවැනි පර්යේෂණයකින් සිහිය වැඩීමේ භාවනාවන් හරහා මතක ධාරිතාව වැඩි වීම සහ මනස ඉබාගාතයේ යැම අවම වන බව පෙන්වා දී තිබෙනවා. එමෙන් ම ඇමෙරිකාවේ ජෝර්ඡ්ටවුන් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Elizabeth Hoge ප්‍රමුඛ කණ්‌ඩායමක් විසින් පවත්වන ලද පර්යේෂණයක් හරහා හෙළිදරව් වී ඇත්තේ ආතතිය ඇති කිරීමට හේතු වන Cortisol නම් හෝමෝන මට්‌ටම පහළ දැමීමට සිහිය හේතු වී ඇති බවයි. හාවඩ් සරසවියේ ස්‌නායු විද්‍යාඥවරියක වන Zara Lasar ද මේ පිළිබඳව සිත් ඇදගන්නාසුලු පර්යේෂණයක් කර තිබුණා. ඇය කිසි දා භාවනා කර නැති පුද්ගලයන් පිරිසක් තෝරාගෙන ඔවුන්ගේ මොළය MRI ස්‌කෑන් යන්ත්‍රයක් හරහා ස්‌කෑන් කළා. ඉන් පසු එම පුද්ගලයන්ට දිනකට මිනිත්තු 30 බැගින් සති අටක් භාවනා කරන්නට ඉඩ සලස්‌වනු ලැබූ අතර ඉන් පසු නැවතත් ඔවුන්ගේ මොළයේ ස්‌කෑන් ඡායාරූප ගනු ලැබුවා.
එම ඡායාරූප සංසන්දනය කිරීමෙන් ඇයට පෙනී ගියේ භාවනා කිරීමෙන් පසු ඔවුන්ගේ මොළයේ සමහර කොටස් වඩා ඝන වී තිබූ බවයි. මෙලෙස ඝන වී තිබුණේ ඉගෙනුමට, මතකයට හා හැඟීම් පාලනයට වැදගත් වන Hypocampus පෙදෙස හා සංසන්දනය කිරීමට, අනුකම්පාව හා කරුණාව දැක්‌වීමට අදාළ ව වැදගත් වන Temporoparietal Junction කොටසයි. මෙමඟින් භාවනා කිරීම මතකය ඉහළ නැංවීමට, සන්සුන් වීමට, කරුණාවන්ත වීමට හේතු වනවා යෑයි පළ වන අදහස්‌වලට සමපාත වනවා. කෙසේ නමුත් පොදුවේ විද්‍යා ප්‍රජාව සලකන්නේ සිහිය නැංවීමේ භාවනාවලින් ඇති වන ප්‍රතිඵල පිළිබඳව ස්‌ථීර ව පැවසීමට තරම් ප්‍රමාණවත් තරම් පර්යේෂණ සිදු කෙරී නැති බවයි. කෙසේ නමුත් එමඟින් හානියක් සිදු වන බවට කිසිදු ලකුණක් මේ දක්‌වා ඇති වී නැති බවත් ඔවුන් ඒ අතර ම පවසනවා.
පාසලටත් සිහිය
මීට අමතර ව බටහිරයන් සිහිය යොදාගන්නට පටන් අරන් ඇති තවත් සුවිශේෂී තැනක් තිබෙනවා ඒ පාසලයි. ඇමෙරිකාවේ Mindup" InnerKid ඕස්‌ටේ්‍රලියාවේ Smiling Minds එක්‌සත් රාජධානියේ Mindfullness in School Project වැනි විවිධ ආයතන හා රජයන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපෘතීන් හරහා පාසල් දරුවන් දහස් ගණනකට සිහිය ඉහළ නැංවීමේ වැඩසටහන් දියත් කර තිබෙනවා. මෙවැනි භාවනා වැඩසටහන්වල ජනප්‍රියත්වය වේගයෙන් ඉහළ යමින් පවතින අතර බොහෝ පාසල් මේ වැඩපිළිවෙළ අනුගමනය කිරීමට කටයුතු කරමින් පවතිනවා. ඕස්‌ටේ්‍රලියාව, කැනඩාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, තායිවානය හා ඉන්දියාව වැනි රටවල පාසල් භාවනා වැඩසටහන්වලට සහභාගි වන ළමයින් 1,800ක් පමණ යොදාගනිමින් කරන ලද අධ්‍යයන 15ක තොරතුරුවලින් ලබාගත් තොරතුරු අනුව සිසුන්ගේ යහ පැවැත්ම, යහපත් සමාජ කුසලතා, සහ අධ්‍යාපන දක්‌ෂතා වර්ධනය වී තිබුණු බවට තහවුරු වී තිබෙනවා. මේ වැඩසටහන් පවත්වන ලද පාසල්වල සිසුන් වඩා ධනාත්මක ව සිතීමටත්, ආතතිය හා පීඩනය අඩු ව කටයුතු කිරීමටත්, වැඩි ආත්ම විශ්වාසයකින් යුක්‌ත වීමටත් හේතු වී ඇති බවටත් මේ අධ්‍යයන වැඩිදුරටත් හෙළිදරව් කර තිබෙනවා.
කුමන හැඩයකින් කුමන අරමුණක් ඉලක්‌ක කරගනිමින් කළ ද සිහිය වර්ධනය කිරීම කිසිවකුගේ යහපතට උපකාරී වනවා මිස අයහපතට හේතු වන්නේ නැහැ. අපේ රටවල ජීවත් වන දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්ට සිහිය පිළිබඳ උනන්දුවක් නොමැති වීම ගැන කරන්නට දෙයක් නොමැති වුවත් පාසල් දරුවන්ගේ කාලසටහනට අපට ද සිහිය වැඩීමේ භාවනා ක්‍රම ඇතුළත් කළ හැකියි. එමඟින් එම පුරුද්ද ජීවන පුරුද්දක් බවට පත් වී වඩා සාර්ථක යහපත් මිනිසුන් සපිරුණු අනාගත සමාජයක් බිහි කිරීමට අවකාශය තිබෙනවා. අපේ දේ අගයක් නැති නිසා මෙතෙක් කල් නො සලකා හැරුණත් බටහිරයන් කරන නිසා වත් අඩු ම ගණනේ එය කිරීමට අධ්‍යාපන බලධාරීන් උනන්දු වන්නේ නම් එය යහපත් දෙයක්.
No comments:
Post a Comment